ADVERTESMENT
ADVERTESMENT
ඔබත් කුරුලෑ වලින් පීඩා විඳිනවද? කුරුලෑ ඇති කෙනෙක් සිප ගැනීමෙන් කුරුලෑ බෝවෙනවද?

මගේ වයස අවුරුදු 16යි. පාසල් යන ශිෂ්‍යයෙක්. මගේ මුහුණ පුරාම කුරුලෑ හැදිලා. ඒක මට හරිම කරදරයක්. සමහර කුරුලෑ පැසවලා වේදනාවයි. ඒවා මිරිකන්න එපා කියලා අපේ අම්මා කියනවා. එතකොට කුරුලෑ වැඩි වෙනවලු. මෙහි ඇත්තක් තිබේ ද?

හැම කුරුලෑවක්ම වේදනාකාරි වූ පළියට මිරිකන එක නම් එතරම් නුවණට හුරු නැහැ. සමහර විට නියවල හා ඇඟිලිවල ඇති විෂබීජ (බැක්ටීරියා) මගින් ආසාදනය වැඩිවෙන්නත් බැරි නැහැ. කෙසේ වෙතත් කුරුලෑ සැරවවලින් පිරී පුපුරන්නට ළඟ නම් අත් හොඳින් සබන් දමා සෝදා එක්වරක් පමණක් සාමාන්‍ය ප්‍රමාණයට මිරිකා එළියට එන සැරව පිරිසුදු පුළුන් හෝ රෙදි කැබැල්ලක් මඟින් ඉවත් කිරීම වරදක් නැහැ.

මුහුණේ කුරුලෑවලට අමතරව මගේ පිටේ සහ පපුවේ ඉහළ කොටසේත් කුරුලෑ වගේ බිබිලි එනවා. ඒ කුරුලෑ ද? ඒවා එන්නේ ඇයි?

ඔව්…. ඒ කුරුලෑ වෙන්නට පුළුවනි. සමහර අයගේ පිටෙත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල සිදුරු සහිත ස්වේද ග්‍රන්ථි පිහිටා තිබෙනවා. ඒවා ලෙහෙසියෙන් ආසාදනයට ලක්වෙන්න පුළුවනි. එසේ කුරුලෑ ඇතිවීමට තවත් හේතුවක් නම් පිටේ එම කොටස තමන් විසින් ම සබන් යොදා සේදීමට ඇති අපහසුතාවයයි. විෂබීජ අපිරිසුදු ප්‍රදේශවල වැඩියෙන් වර්ධනය වෙනවානේ. නාන විට දී තව කෙනෙක් ලවා පිට හොඳින් පිරිසුදු කරගැනීම සුදුසුයි.

කුරුලෑ ඇති කෙනෙක් (ආදරවන්තයා කියලා කියමුකෝ) සිප ගැනීමෙන් එය මටත් බෝ වෙන්නට පුළුවන් ද?

කුරුලෑ තුළ වෙසෙන බැක්ටීරියාවන් නම් ප්‍රොපියොනි බැක්ටීරියම් ඇක්නිස් (Propionibacterium Acnes) Bacteriumacnes) හා ස්ට්‍රෙප්ටොකොකස් ඇල්බස් (Streptococcus Albus ආදියයි. යම් හෙයකින් ඔබේ මුහුණේ එම බැක්ටීරියාව ගෑවුණොත් ඒ වගේම ඔබේ මුහුණේ කුරුලෑ ඇතිවීමට අවශ්‍ය පරිසර තත්ත්වය පවතී නම් එය තමාටත් බෝවිය හැකියි. එහෙත් බොහෝ විට කුරුලෑ බෝවෙන්නේ සිප ගැනීමෙන්ම නොවේ. මුහුණේ කුරුලෑ ඇල්ලීම නිසා නිය තුළට යන විෂබීජ සමඟම ඔබ ඔබේ මුහුණ නැවත ඇල්ලුවොත් එමඟිනුත් කුරුලෑ බෝවිය හැකියි. මේ විදියට වැඩිපුරම කුරුලෑ බෝවෙන්නේ කුරුලෑ ඇති තැනැන්තාගේ මුහුණේ එක් තැනක සිට තවත් තැනකටයි.

ලිංගිකව ස්වයං වින්දනයේ යෙදෙන අයගේ මුහුණේ වැඩිපුර කුරුලෑ එනවා කියන්නේ ඇත්තද?

නැහැ. එහි කිසිම සත්‍යයක් නැහැ. ඒත් මානසික පසුතැවීම. අවිවේකීභාවය, තරගකාරී ක්‍රීඩා සමඟ කුරුලෑ ඇතිවීමේ සම්බන්ධයක් තියෙනවා. ස්වයං වින්දනය පිළිබඳව ඔබ බියටත් පසුතැවීමටත් පත්ව සිටි නම් සමහර විට එය කුරුලෑ ඇතිවීමට බලපෑ හැකියි. ඒත් මෙය ඔබ අනිවාර්යයෙන්ම දත යුතුමයි. ලිංගික ස්වයං වින්දනයත් කුරුලෑ ඇතිවීමත් යන දෙකම යොවුන් වියේ නීරෝගී සෞඛ්‍ය සම්පන්න අයට ඇතිවන ස්වභාවික සංසිද්ධි දෙකක්. ඒ දෙකම පිළිබඳ ඔබ පසුතැවිල්ලට පත්විය යුතු නැහැ.

මලබද්ධයත් කුරුලෑත් අතර සම්බන්ධයක් තිබේ ද?

මේ ප්‍රශ්නයට පිළිතුර රඳා පවතින්නේ ඔබ ගන්නා ආහාර මතයි. මලබද්ධය වැළැක්වීමට උදව් වන බොහෝ ආහාර වර්ග (එළවළු හා පලතුරු) ඔබේ සම සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නටත් හේතු වෙනවා. එමඟින් කුරුලෑත් අඩුවෙනවා.

කුරුලෑවන් යනු කුමක්ද?

සමෙහි ඇති ස්වේද ග්‍රන්ථි තුළ වැඩිපුර ස්වේදය නිපදවීම හේතුවෙන් එම ග්‍රන්ථිය තුළින් පැන නගින කෙස් ගස මැරෙනවා. ග්‍රන්ථිය තුළ සිරවන ස්වේදය හා සෛල අවට ඇති සම ද ආසාදිත තත්ත්වයකට ලක්වෙනවා. අවසානයේදී එම ග්‍රන්ථිය සුදු රුධිරාණු හා බැක්ටීරියාවන්ගෙන් පිරී සැරව කුහරයක් බවට පත්වෙනවා. මෙසේ ඇති වූ සැරව පිරී කුරුලෑව කඩා නොදැමුවහොත් බොහෝවිට ඉබේටම පුපුරා ඉවත් වෙනවා. ටික දිනකින් සම යළි ස්වභාවික තත්ත්වයට පත්වෙනවා.

එහෙත් කලාතුරකින් සමහර කුරුලෑ සමේ ගැඹුරින් පිහිටා ඇත්නම් එය තරමක් විශාල සැරව ගෙඩියක් බවට පත්වෙනවා. එසේ වුවහොත් සමහරවිට එය කුඩා සැත්කමක් මගින් කපා ඉවත් කරන්නට සිදුවේවි.

කුරුලෑ වැඩිපුර ඇතිවන්නේ ගැහැනු ළමයින්ට ද? පිරිමි ළමයින්ටද?

දොගොල්ලන්ටම එක විදියට කුරුලෑ ඇති විය හැකියි. එහෙත් පිරිමි ළමයින්ගේ ස්වේද ග්‍රන්ථිවලින් ස්වේදය වැඩිපුර ස්‍රාවය වන නිසා ඔවුන්ගේ කුරුලෑ පැසවීම වැඩිවන්නට පුළුවනි. ඒ හැරුණු කොට සමහර ගැහැණු ළමයින්ගේ ආර්තවය කිට්ටු වන විට කුරුලෑ ඇතිවීම වැඩිවන බවක් දැකිය හැකියි.

කුරුලෑ වැඩිවීමට හේතු විය හැකි දේ මොනවාද?

* රූපලාවන්‍ය සඳහා යොදාගන්නා තෙල් සහිත ද්‍රව්‍ය
* කෑම පිසීමට ගන්නා තෙල් වර්ග
* මානසික අසහනය
* ඔසප් වීම (ආර්තවය)
* සම තදින් ඇතිල්ලීම
* නොමේරූ කුරුලෑ නිතර තදින් මිරිකීම

කුරුලෑ වලට වෙද හෙදකම් නිවසේදී...

මනා ශරීර ස්වස්ථතාව කුරුලෑ අවම කර ගැනීමට ඉතාම වැදගත්. කුරුලෑ සහිත ප්‍රදේශ හොඳින් සබන් යොදා දවසකට කිහිප වරක් සේදීම ඉතාමත් වැදගත්. සේදූ විගස වියළි පිරිසුදු තුවායකින් පිස සම වියළිව තබා ගැනීම ද ඉතා යෝග්‍යයි.

අලුත් පලතුරු වර්ග සහ එළවළු වර්ග වැඩිපුර අනුභව කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව පෙර ද සඳහන් කරනු ලැබුවා. පැණිරස සහ තෙල් ආහාර වර්ග (කේක්, චොකලට්, මස්කට්, දොදොල්) අනුභවය අඩු කිරීමත් නුවණට හුරුයි.

වේදනාකාරී කුරුලෑවක් ඇති වූ විට එය උණු වතුරෙන් තැවීම යෝග්‍යයි.

කුරුලෑ පිළිබඳව මානසික අසහනයට පත්වීමම ඒවා වැඩිවීමට හේතු වෙනවා. කුරුලෑ පිළිබඳ නිවැරදි ආකල්පයකින් පවුලේ ඥාති මිත්‍රාදීන් කටයුතු කිරීම මඟින් එම අසහනකාරී තත්ත්වය මඟහැර ගෙන කුරුලෑවකින් ඇතිවන කායික කැලල පමණක් නොව මානසික කැලලද මකා දැමිය හැකි වනු ඇත.

වෛද්‍ය ප්‍රතිකාර

කුරුලෑ සඳහා ප්‍රතිකාර වර්ග කීපයක්ම තියෙනවා. ඔබේ වෛ්‍යවරයා විසින් ඔබට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය තෝරාදේවි. මොන ක්‍රමය භාවිතා කළත් මතක තබා ගතයුතු වැදගත් කරුණ නම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට මාස දෙකක් වත් අඩු තරමින් ගත වන බවයි.

බෙන්සොයිල් පෙරොක්සයිඩ් (Benzoyl Peroxide)

දියර ජෙලි හෝ ක්‍රීම් ලෙස ඔසුහල්වලින් ලබාගත හැකියි. සියයට 2.5 හා සියයට 5 සාන්දාණයන්ගෙන් ලබා ගත හැකි මෙම ඖෂධය සබන් යොදා සෝදා වියලා ගත් සම මත දිනපතා නින්දට යාමට පෙර ආලේප කළ යුතුයි. පසුව දවසට දෙවරක් ආලේප කිරීම ද පුළුවන්. මෙම ඖෂධය සමට අගුªණ නම් හෝ මාස 2ක් ඇතුළත හොඳ ප්‍රතිඵල නොදුන්නොත් එය නතර කර දැමීමට ඔබේ වෛද්‍යවරයා උපදෙස් දේවි.

ප්‍රතිජීවක (Antibiotics)

කුරුලෑ සඳහා තවත් ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ගයකි. මේ මුඛයෙන් ලබා ගැනීමට පෙති හෝ කරල් වශයෙන් ද සමෙහි ආලේපයට දියර හෝ ක්‍රීම් වශයෙන් ද ලබා ගත හැකියි.

ට්‍රෙටිනොයින් (Tretinoin)

තවත් හොඳ ප්‍රතිඵල ලබා දෙන ඖෂධයක්. දවසකට වරක් ආලේප කරන මෙම ක්‍රීම් වර්ගය ඇස්, මුඛය හා නාසය තුළ ආලේප කිරිම නුසුදුසුයි. මෙම ඔසුව ආලේප කර තද අව්වට නිරාවරණය වීමද සුදුසු නොවේ. එවිට සම පිළිස්සීමට හැකියි.

මෙම ඔසුව ආලේප කර මුල් සති කිහිපය තුළ කුරුලෑ වැඩිවන ස්වරූපයක් පෙනුණත් පසුව අඩු වී යයි.


-මාවනැල්ල ගමගේ රෝහලේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ-
2,086


Views
Topical Medicinal Creams To Treat Your Pimples